Event information

  • Description: මකුද්දල ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්
  • Event date: 2022.02.25

මකුද්දල ග්‍රාම නිලධාරී වසමටත් “පොතක් එක්ක” වැඩසටහනින් පුස්තකාලයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මහතාගේ සංකල්පයකට අනුව කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් පුස්තකාලයක් බැගින් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි “පොතක් එක්ක” එකොළොස් වන පුස්තකාලය 2022.02.25 දින මකුද්දල ග්‍රාම නිලධාරී වසමේදී විවෘත විය.

මෙම පුස්තකාලය ස්ථාපිත කිරීම සදහා පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් දායකත්වය දැක්වූ අතර පුස්තකාලය සදහා රු. 56,000 ක් වටිනා කබඩ් 2 ක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ආර්.එම්.කසුන් ධනංජය රත්නායක මහතා විසින් ලබාදුනි. කෑගල්ලේ පදිංචි සූරියබණ්ඩාර දිසානායක මහතා රු. 25,000 ක පොත් පරිත්‍යාගයක්ද, අවිස්සාවේල්ලේ එච්.ඒ.ආනන්ද සුමනසේකර මහතා, මකුද්දල ජේ.එම්.චන්දන ජයසූරිය මහතා, වට්ටාරම වාගොල්ලවත්ත පදිංචි සුසන්ත විජේවික්‍රම මහතා, වාගොල්ලවත්ත රසික කැලුම් මහතා, කෑගල්ල වයලා විජේබෝපෙආරච්චි මහත්මිය, රඹුක්කන රෝෂණ දිසානායක මහතා, මකුද්දල එම්.ජී.ආර්.අබේරත්න මහතා, හත්නාගොඩ හිටිනාවත්ත නිවසේ ප්‍රජාව, හා මකුද්දල වසමේ ජනතාව පොත් පරිත්‍යාගයෙන් මේ සදහා දායකත්වය සැපයීය. කියවීම සමාජය තුළ ප්‍රචලිත කිරීම සදහා ඇරඹි මෙම වැඩසටහන සදහා මකුද්දල ශෛලතලාරාමාධිපති මකුද්දල නිමලරතන හිමි සහ පල්ලෙවෙල සෙනවිරතනාරාමාධිපති පල්ලෙවෙල ආනන්ද හිමි උපදේශකත්වය ලබා දුන් අතර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සුරතින් මෙය ජනතා අයිතියට පත් කිරීම සිදු විය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර අලුත්වත්ත මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංගි අධිකාරී මහත්මිය, මකුද්දල ආයුර්වේදයේ ප්‍රධාන වෛද්‍ය වසන්ත උදයකුමාර මහතා සහ වසම්භාර ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා නවක සංවර්ධන නිලධාරීන් සහභාගි වූ අතර මෙවැනි උතුම් කාර්යයක් ඉටු කිරීමට කැපවූ සියළුම දෙනා වෙත ප්‍රාදේශීය ලේකම්තුමන් තම ප්‍රණාමය පුද කරන ලදී.