Event information

  • Description: ගලිගමුවේ කලාකාමී හදවත් අවදි කල පුරවැඩුම 2022
  • Event date: 2022.09.21

ගලිගමුවේ කලාකාමී හදවත් අවදි කල පුරවැඩුම 2022

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ වසරක් පාසා සිදුකරන ගලිගමුව මහා කලා මංගල්‍යය - පුරවැඩුම 2022 මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලද්දේ මීට මාස කිහිපයක සිටය. ගලිගමුවේ කලාකාමීත්වය හදුනන මිනිසුන්ගේ අනුග්‍රාහකත්වය නොඅඩුව ලැබුන අතර පීඩනයෙන් ජීවත්වන ජනතාවට මොහොතකට හෝ අස්වැසිල්ලක්, මනසට සුවයක් ලබා දීමට ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු කණ්ඩායම ගත් මහන්සියේ කූටප්‍රාප්තිය 2022.09.21 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී කෑගල්ල මහදිසාපති මහින්ද එස්.වීරසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කල එළි බසින ලද්දේ සූසැට කලාවෙන් විචිත්‍රවක් ගලිගමු පුරවැඩුම 2022 සාහිත්‍ය කලා මහෝත්සවය යන තේමාවෙනි. දවස පුරා පැවති කලා මංගල්‍යයේ වර්ණවත් වූ අංග අතර ප්‍රවීන නාට්‍යවේදි රොඩ්නි වර්ණකුල මහතාගේ සෝබාලංකාරේ නාට්‍ය ගී රසවින්දන වැඩසටහන හැදින්විය හැකි අතර පාසල් දරුවන්ගේ සාහිත්‍ය රසය ඔප් නැංවීම මෙහි අරමුණ විය. වින්දනීය හෝරා කිහිපයක් ලෙස පැවති මෙම වැඩසටහනින් අනතුරුව ගලිගමුව කොට්ඨාශයේ කලාවට ඉමහත් සේවයක් සැපයූ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සමරු ඵලක ප්‍රදානය සිදු කල අතර, සාහිත්‍ය උළෙලට සමගාමීව වසරක් පාසා කළ එළි බසින පුරවැඩුම - 2022 සාහිත්‍ය සඟරාව දොරට වැඩුමද මෙහිදී සිදු කරන ලදී.

ඩිජිටල් ලෝකයක අතරමංව සැරිසරන දුවා දරුවන් හා වැඩිහිටියන් වෙත සජීවී වේදිකා නාට්‍ය තුළින් නව නළු රසය ලබා දීමේ අරමුණින් ප්‍රවීන නාට්‍යවේදී පුන්‍යසේන ගුණසිංහයන්ගේ දික්තල කාලගෝල නාට්‍ය පාසල් දර්ශනය හා මහජන දර්ශනය ලෙස දර්ශනවාර දෙකක් නොමිලේ ප්‍රදර්ශනය කිරීමද දිවා කාලයේ සිදු කරන ලදී. රටේ පවතින පීඩාකාරී තත්ත්වය තුල වේදිකා නාට්‍යයක් නොමිලේ ප්‍රදර්ශනය කිරීම අභියෝගයක් වුවද එය කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා වේදිකා ගත කිරීමට අවශ්‍ය පසුබිම තැනූවෝ රැසකි. මාස ගණනක් තිස්සේ වේදිකාව නිර්මාණය කරමින්, සියලු කටයුතු සැලසුම් කරමින්, පාසල් දරුවන්ට සහ මහජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සිදුකරමින්, කිසිදු අඩුවක් නොවන්නට සියළු දේ සම්බන්ධීකරණය කරමින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, වසම්භාර ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්, පුරවැඩුමට පසුබිම තැනූ වැඩකරුවන්ය.

එවන් වූ පසුබිමක පුරවැඩුම 2022 සාර්ථකත්වයෙන් සමාප්තිය සනිටුහන් කිරීමට සාහිත්‍ය රසය එක්කල ප්‍රවීන නාට්‍යවේදී රොඩ්නි වර්ණකුල මැතිතුමාටත්, ප්‍රවීන නාට්‍යවේදී පුන්‍යසේන ගුණසිංහ මහතාගේ දික්තල කාලගෝල නාට්‍ය කණ්ඩායමටත් ස්තුතිය පුදකරන අතර, මෙම වැඩසටහන හා සම්බන්ධ වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මැතිතුමාටත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනීෂා එස්.රත්නායක මහත්මියටත්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කුසුම්සිරි මහත්මියටත්, ගලිගමුව කොට්ඨාශයේ පාසල් දුවා දරුවන්ටත්, ගුරු මහත්ම මහත්මීන්ටත්, ගලිගමුවේ ජනතාවටත් ප්‍රණාමය පුදකරමු. මෙවන් වූ දැවැන්ත කාර්ය භාරයක අවසානය සාර්ථකත්වයෙන් සමාප්ත කරන්නට පුරවැඩුම සමග අත්වැල් බැදගත් කලා හිතැති අනුග්‍රාහක භවතුන්ටත් නන් අයුරින් සහය දුන් සැමටත් ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු කාර්යමණ්ඩලයේ හදපිරි කෘතවේදීත්වය මෙසේ පිරිනමමු.